SLC නව ව්‍යවස්ථාවේ කෙටුම්පත ගැන පැහැදිලි කිරීමක් -  ඡන්ද සංඛ්‍යාව 39ක් දක්වා පහළට

SLC නව ව්‍යවස්ථාවේ කෙටුම්පත ගැන පැහැදිලි කිරීමක් -  ඡන්ද සංඛ්‍යාව 39ක් දක්වා පහළට

July 28, 2026   03:30 pm

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව ව්‍යවස්ථාවේ කෙටුම්පත ක්‍රීඩා අමාත්‍යවරයා වෙත භාරදී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුව පවසයි.

එම කමිටුවේ සාමාජික සිදත් වෙත්තමුණි මහතා සඳහන් කළේ, නව ව්‍යවස්ථාව යටතේ ඡන්ද භාවිතාකළ හැකි සංඛ්‍යාව 39ක් දක්වා අඩු කිරීමට යෝජනා කර ඇති බවයි.

ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත නොවන ක්‍රීඩා සංගම් සඳහා ඡන්ද හිමිකම් ලබාදීම සම්බන්ධයෙන්ද නව ක්‍රමවේදයක් හඳුන්වා දීමට යෝජනා කර ඇති බව ඔහු පැවසීය.

TEIR 01  තරගාවලි සඳහා ක්‍රීඩා කරන ක්‍රීඩා සංගම්වලට ඡන්ද දෙකක් හිමිවන අතර, ඔවුන් ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වන ආකාරය අනුව ඡන්ද හිමිකම් ලබාදීමට කටයුතු කරන බවද සිදත් වෙත්තමුණි මහතා සඳහන් කළේය.

වසර ගණනාවක් පුරා ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත නොවන ඇතැම් ක්‍රීඩා සංගම්වලටද ඡන්ද දෙක බැගින් හිමිවීමේ ක්‍රමය නව ව්‍යවස්ථාව මගින් අවසන් වන බව ඔහු පැවසීය.

නව ව්‍යවස්ථාවේ මූලික මූලධර්මයක් ලෙස විනිවිදභාවයට විශේෂ අවධානයක් යොමු කර ඇති බවද සිදත් වෙත්තමුණි මහතා සඳහන් කළේය.

එමෙන්ම, මේ වනවිට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලය නියෝජනය කරන සාමාජිකයින් සංඛ්‍යාව 20ක් වන අතර, එය 14 දක්වා අඩු කිරීමට යෝජනා කර ඇති බවද ඔහු පැවසීය.

මේ අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුවේ සභාපති ඉරාන් වික්‍රමරත්න මහතා සඳහන් කළේ, කෙටුම්පත් කර ඇති නව ව්‍යවස්ථාව ක්‍රියාත්මක වුවහොත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව තවදුරටත් දියුණු කිරීමට හැකිවනු ඇති බවයි.

දේශපාලන බලපෑම්වලින් තොරව ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියට ගෙන යා හැකි, වෙනස් නොවන ස්ථාවර ක්‍රමවේදයක් අවශ්‍ය බවද ඔහු පැවසීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දෛනික පරිපාලන කටයුතු ප්‍රධාන විධායක නිලධාරීවරයා සහ පරිපාලන කණ්ඩායම වෙත පැවරීමට යෝජනා කර ඇති බවත්, අධ්‍යක්ෂ මණ්ඩලයේ කාර්යභාරය ප්‍රතිපත්තිමය තීරණ ගැනීම දක්වා සීමා කිරීමට අපේක්ෂා කරන බවත් ඉරාන් වික්‍රමරත්න මහතා සඳහන් කළේය.

මෙම වෙනස ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය සඳහා අත්‍යවශ්‍ය බවද ඔහු අවධාරණය කළේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුව සඳහන් කළේ, නව ව්‍යවස්ථාව හරහා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ යහපාලනය සහ විනිවිදභාවය තහවුරු කිරීමට අවශ්‍ය ක්‍රමවේදයක් ස්ථාපිත කිරීමට අපේක්ෂා කරන බවයි.